www.sinhala bible studies.com

සිංහළ බයිබල් පාඩම්

පටු දොරටුවෙන් ඇතුල් වෙයල්ලා, මක්නිසාද විනාශයට යන දොර විශාලය. ජීවනයට යන දොරටුව පටුය, එක සම්භවන්නේ ස්වල්ප දෙනෙකුටය.

කුඩා කණ්ඩායම් සඳහා බයිබල් පාඩම්

නොවෙනස් දෙවියන්වහන්සේ.

"මක්නිසාද ස්වාමින්වහන්සේ වෙන මම වෙනස් නොවෙමි"
-මලාකි 3 : 6

"නොවෙනස්" යන වචනය පවසා සිටින්නේ, ස්වභාවයෙන්ම වෙනස්වන සුළු ගතිගුණය පිහිටා නොමැත යන අදහස පවසා සිටීමයි. දෙවියන්වහන්සේ කිසිවිටෙකත් වෙනස් නොවෙනා බව ඇදහිලිවන්තයන් පවා පවසා සිටින්නේද බයිබලයේ ඇති දෙවියන් වහන්සේගේ ඒ පොරොන්දුව අල්ලා ගෙනයි.

ඉශ්රායෙල් සෙනග තුල වූ ඒ වෙනස්වන සුළු ගති ගුණය උදාහරණයට අරගෙන දෙවියන්වහන්සේ ඔවුන්ට පවසා සිටින්නේ උන්වහන්සේ ඔවුන් මෙන් වෙනස් වෙන සුළු ගතිගුණ ඇති අයෙක් නොවෙන බවයි.

දෙවියන්වහන්සේගේ මේ වෙනස් නොවෙන ස්වභාවය ගැන අලුත් ගිවිසුමේ ජීවත්වූ මිනිසුන් පවා සඳහන් කරයි;

"සෑම යහපත් දීමද, සෑම සම්පුර්ණ දීමනාවද, කිසි වෙනස්විමක්වත්, හැරීමේ චායාවක් වත් නැත්තාවූ ආලෝකවල පියාණන් වහන්සේ කෙරෙන් ඉහලින් බැස එන්නේය."
-යාකොබ් 1:17.

ඒ අනුව පරණ ගිවිසුම කාලයේ පමණක් නොව අලුත් ගිවිසුම කාලයේ ජීවත්වූ ඇදහිලිවන්තයන් පවා මිනිසුන් මෙන් දෙවියන්වහන්සේ ස්වභාවයෙන් වෙනස් වන ගතිගුණ ඇති අයෙකු නොවෙනා බව දැනසිටිය බව පෙනෙයි.

ස්වභාවයෙන්ම දෙවියන්වහන්සේ එවැනි අයෙක් වුවත් මේ ලෝකය මෙන්ම එහි ජිවත්වන අපි සියලු දෙනා ගැන ගත්කළ අප දකින්නේ එකේ අනෙක් පැත්තයි.

ඒ නුමුත් මැවුම්කාර දෙවියන්වහන්සේගේ තුල කිසි වෙනස්වීමක් හෝ නැවතීමක් හෝ අවසානයක් හෝ නොමැති බව දේව වචනය ප්‍රකාශකරසිටියි.

දෙවියන් වහන්සේගේ මැවිල්ල වන මේ ලෝකය සහ එහි පරිසරයද දිනෙක අවසන් වුවත්, ඒවා මවනු ලැබූ ඒ දෙවියන්වහන්සේ නොවෙනස්ව සදාකාලිකව ජිවත්වන බවත් එසේම උන්වහන්සේගේ ස්වාභාවයවත් චරිත ගුණාංගයන් වත් උන්වහන්සේගේ විද්‍යමාන භාවයවත් කිසිවිටෙකවත් කිසිම දිනක වෙනස් නොවෙන බවත් පවසා සිටින්නේ වෙන කිසිවෙක් නොව දෙවියන්වහන්සේමයි.

දෙවියන් වහන්සේගේ ස්වභාවය වෙනස් නොවන්නාවූ සදාකාලික එකක් වුවත්, උන්වහන්සේ විසින් මවනු ලැබුවාව අපත්, එසේම අප ජිවත්වන මේ ලෝකයත් ක්‍රමක් ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතියි.

අප අවට ඇති පරිසරයේ වෙනස් වීම ගැන පමණක් දිනපතාම අපට මාධ්‍යයන් ඔස්සේ දැනගන්නට සලස්වා තිබුනත් සැබෑව වන්නේ අප පිළිගත් ආචාර්ය ධර්මයන්, සංස්කෘතිකමය අංගයන්, චරිත ගුණාංගයන් අදහස් සහ අගයකිරීම් වැනිදෑද දිනෙන් දින වෙනස් වෙමින් පැවතුනත් ඒ වෙනස්වීම ගැන කිසිවෙක් කතා නොකිරීමයි.

ඒ අනුව අපගේ දෙමාපියන් දැරූ අදහස්, හොඳ නරක හෝ මති මතාන්තර බොහෝදුරට වෙනස් වෙමින් පවතින්නේ ඒවා කාලයට අනුව නොගැලපෙන ඒවා ලෙසින් සැලකීමයි. මේ කෝණයෙන් අපි අපගේ ඇදහිල්ල සහ විශ්වාසය දෙස බලනවිට පවා පෙනෙන්නේද එය පවා පුද්ගලික කැමැත්තට අනුව ජීවත්වීමට බාධාවක් නොවන සේ වෙනස්කරගෙන ක්‍රියාවට නැගීමට දරන උත්සාහයයි.

නොවෙනස් දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ නොවෙනස් වචනය පවා අපි වෙනස්කරගෙන ජීවත්වීමට උත්සාහ දරන්නේ අපගේ ජිවිත රටාවට ඒ තුලින් බාධා නොපැමිණෙන පිණිසයි. එබැවින් බොහෝදුරට අප ඒ ගැන සලකන්නේද පැරණි පුරුදු හෝ හණමිටි අදහස් ලෙසින් වුවත් සැබෑව වන්නේ ආචාර්යය ධර්මයට කිකරුවිමටත් ඒවාට අනුව අපගේ ජිවිත වෙනස්කර ගැනීමෙන් පැමිණෙන සිමා කම් වලටත් අපගේ ඇති අකමැත්ත වීමයි.

ඒ නුමුත් දේව වචනය හෝ ඒවා දුන් දෙවියන්වහන්සේ හෝ වෙනස් නොවන බැවින් ඒ වෙනස් නොවන දේව වචනයට කිකරුවී ජීවත්වීම දෙවියන්වහන්සේගේ කැමැත්ත බව උන්වහන්සේගේ වචනය අපට පැහැදිලි කරයි. දේව වචනය ඉශ්රායෙල් ජනතාවට පමණක් නොව එය අපටත් එකසේ බලපායි.

මේ සත්‍යය ගීතිකා කාරයා ගීතාවලියේ මෙසේ ලියා දක්වයි;

"ආදියෙහි ඔබ පොළොවේ අත්තිවාරම ලුසේක.
ආකාශය ඔබගේ අතේ වැඩය වෙයි.
ඒවා විනාශ වන්නේය.
නුමුත් ඔබ පවත්නා සේක.
එසේය ඒ සියලක්ම වස්ත්‍රයක් මෙන් පරණ වන්නේය.
උතුරු සළුවක් මෙන් ඔබ ඒවා මාරුකරන සේක.
නුමුත් ඔබ එකාකාරමය.
ඔබගේ අවුරුදු කෙලවර නොවන්නේය."
-ගීතාවලිය 102: 25-27.

යේසුස් වහන්සේගේ කන්ද උඩ දේශනාවේද යේසුස් වහන්සේත් ඒ ගැන මෙසේ පවසා සිටියි;

"සැබෑවක් සැබෑවක් නුඹලාට කියමි,
අහසත් පොළොවත් පහව යනතෙක්, සියල්ල සිදුවන තුරු,
ව්‍යවස්ථාවෙන් එක අකුරක්වත්, එහි ඇති තිතක්වත් කිසිසේත් පහව නොයන්නේය".

- මතෙව් 5:18

"යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඊයෙත්, අදත්, මතු සදාකාළයටත් ඒකාකාරමය" (හෙබ්‍රෙව් 13:8) යනුවෙන් මතක්කර දෙමින් පවුල් තුමා කල ඉගැන්වීම පවා පෙන්වදෙන්නේද, මාංශ වත්වී මොලොවට පැමිණි යේසුස් වහන්සේද පරණ ගිවිසුමේ පෙනීසිටි දෙවියන්වහන්සේ මෙන් වෙනස් නොවනා බැවින් අපට දේව වචනය වෙනස්කරගෙන හෝ ඒවාට පටහැනිව ජීවත්වීම තුලින් දෙවියන්වහන්සේට සම්බන්ධ විය නොහැකි කම ගැනයි. ඒ වෙනුවෙන් අපට ඇති එකම මාර්ගය වන්නේ වෙනස් නොවන ඒ දේව වචනයට කිකරුවී ජීවිතය ගොඩනගා ගැනීම පමණක් බවත් ඔවුන්ගේ ඉගැන්වීම කියා සිටියි. ආශිර්වාදය වෙනුවෙන් මිනිසාට ඇති එකම මඟ වන්නේ කිකරුකමේ මාර්ගය පමණක් බවත් එය පෙන්වාදෙයි.

සියලු බලයෙන් පිරි, සියල්ල දන්නාවූ, සෑම තැනකම එකවිට වැඩවාසය කල හැකි, සදාකාලිකව වූ ඒ සර්ව බලධාරී දෙවියන්වහන්සේ එසේ කිසිවිටෙකත් වෙනස් නොවන්නේ උන්වහන්සේ පමණක් දෙවියන්වහන්සේද වන නිසා බව දෙවියන්වහන්සේම ඉශ්රායෙල් ජනතාවට පවසා සිටියි.

දෙවියන්වහන්සේ වෙනස් නොවෙන බවත් පොරොන්දු කඩකිරීමට උන්වහන්සේ මිනිසෙක් නොවෙනා බවත් දේව වචනය තුලින් උන්වහන්සේම ඉශ්රායෙල් සෙනගට පවසා සිටියේ අප විසින් ඒ දෙවියන්වහන්සේව තේරුම් ගන්නා පිණිසත් එසේම ඒ තුලින් දෙවියන්වහන්සේට සම්බන්ද වී ආත්මිකව අපගේ ජීවිතද යහපත් එකක් කරගන්නා පිණිසයි.

ඇදහිලිවන්තයන් වන අපට දෙවියන්වහන්සේම උන්වහන්සේගේ ගුණාංගයන් පහදා දෙන්නේ, මිනිසුන් වන අප ඒවා තේරුම් ගෙන අප උන්වහන්සේට කීකරුවන පිණිසයි. එනම්, අපගේ වැරදි අරමුණු වලින් මිදී දෙවියන්වහන්සේට කිකරුවිම තුලින් උන්වහන්සේගේ ආශිර්වදයන්ද උරුම කරගනු පිණිසයි.

දෙවියන්වහන්සේ සතු තවත් එවැනි බොහෝ ගුණාංග තිබුනත් මිනිසුන් හැටියට මොලොව ජීවිතය දෙවියන්වහන්සේට සම්බන්ධ වී වෙනස් කර ගත හැකි බව පෙන්වාදෙන පවුල් තුමා පවසා සිටින්නේ, අප යේසුස් වහන්සේට කීකරුවී අපගේ හදවත් උන්වහන්සේගේ කැමැත්ත කිරීමට යටත්කරන විට උන්වහන්සේද ආත්මයෙන් අපගේ ජිවිත තුලට පැමිණ ජිවත්වන බවයි. එවිට උන්වහන්සේගේ ඒ ආත්මයේ පන්ගුකාර කමත්, එසේම උන්වහන්සේගේ ඒ ආත්මයේ ගුණාංගත් අප තුල ක්‍රියා කිරීමට පටන්ගන්නා බවත් පවුල් තුමා ඒ ගැන පෙන්වාදෙයි.

දෙවියන්වහන්සේට කිකරුවිම ඒ හේතුවෙන් සෑම ඇදහිලිවන්තයෙකුට ලබාගත හැකි ඒ දීමනාව ගලාති පොතේ විස්තර වන්නේ "ආත්මයාණන් වහන්සේගේ ආත්මික ඵල" හැටියටයි.

"නුමුත් ආත්මයාණන් වහන්සේගේ ඵල නම්, ප්‍රේමය, ප්‍රීතිය, සමාදාණය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මෘදු කම, පමණ දැන ක්‍රියා කිරීම යන මේවාය". -ගලාති 5:22

ආත්මයාණන් වහන්සේගේ ඵල අප වෙත පැමිණෙන්නේ දෙවියන්වහන්සේ ගෙන් බව පවසා සිටින පාවුල් තුමා දෙවියන්වහන්සේගේ ඒ ආත්මික ඵල වලින් පිරිසිටීමට නම් පළමුවෙන්ම අපි උන්වහන්සේ සමග ගෙනයන අපගේ ආත්මික සම්බන්ධයත් යහපත් එකක්ව ගොඩනගා ගතයුතු බවත් පවසයි.

දෙවියන්වහන්සේගේ ආත්මය පමණක් නොව නුමුත් උන්වහන්සේගේ ස්වභාවික ගතිපැවතුම පවා අප තුලත් රැඳී තිබීමටත් එසේම ඒවා අප තුලින් එළිදැකිමටත් හැකිවන්නේ නම්, ඇදහිලිවන්තයන් ඒ ගැන විමසිලිමත් විය යුත්තේ දෙවියන්වහන්සේ සමග අප ගෙනයන සම්බන්ධය වන ඒ සහභාගිකම පැවැත්වීමද ඒ හා සමග සිදුවන නිසායි.

දෙවියන්වහන්සේගේ අති උතුම් ස්වභාවය මෙසේ ආත්මයාණන් වහන්සේගේ ඵල හැටියට දුර්වලවූ මනුෂ්‍යන් වන අප තුළින්ද විද්‍යාමාන වන විට සිදුවන්නේ මේ පොළොවේ ජිවත්වන අපි ඉබේම දෙවියන්වහන්සේගේ ආත්මයයේ ඵලදරම මිනිසුන් ලෙසින් වෙනස්වීමයි. එවිට අපි ඉබේම මොලොව උන්වහන්සේගේ සාක්ෂිකාරයන් බවට පත්වෙයි.

"දෙවියන්වහන්සේ ප්‍රේමණියය. එසේම උන්වහන්සේගේ ඒ ප්‍රේමයද සදාකාලයටම පවතියි." - 1 යොහාන් 4:8

එබැවින් කිසි දිනෙකත් වෙනස් නොවන්නාවූ ඒ දෙවියන්වහන්සේ අපට පවසන පණිවිඩය වන්නේ, අපගේ කිකරුකමත් වෙනස් නොකර තබාගන්න යන අවවාදයයි. දෙවියන්වහන්සේ මෙන්ම උන්වහන්සේ විසින් අපට දෙන ලද ඒ දේව වචනයත් වෙනස් නොවන බැවින් ඒ වෙනස් නොවෙන්නාවූ දේව වචනය වෙනස්කරගෙන ඇදහීමට උත්සාහ නොකර මුළු සිතින් ඒවාට කිකරුවී ජීවත්වීමට උත්සාහ කරමු.

(දර්මදාස ශුභාරංචි සේවය වෙතින් උපුටා ගන්නා ලදි. /©2016- darmadasa.org)